පක්ෂය වෙනුවෙන් හැමදේම කොළපාටගත්ත බණ්ඩයියා


ඔහු මුලින්ම මා දුටුවේ මීට වසර හතලිහකට පමණ ඉහත  දී පොලොන්නරුවේ පැවැති ගම් උදා භූමියකදීය.  මුලු සරුවාංගයම කොල පැහැති ඇඳුම් පැලඳුම් ආයිත්තම් වලින් සැරසී සිටි හෙතෙම එකල තරුණය.. 
  එතැන් සිට මට ඔහු මුනගැසුනේ මා සේවය සැපයූ මාධ්‍ය ආයතනය වෙත එ.ජා.පක්ෂය විසින් සංවිධානය කල රැස්වීම් වාර්තා  සපයන්නට  එම රැස්වීම් ජනහමු වාර්තාකරන්නට  පොලොන්නරුව දිස්ත්‍රික්කය පුරා යන ගමනේදීය. 
ඔහු නැති එජාප රැස්වීම් බිමක් පොලොන්නරුවේදී මා දැක නැත. 
ඒ වනවිට ජ්‍යේෂ්ඨ පුරවැසියෙකු වූ වික්‍රමසිංහ  මුදියන්සේලාගේ උක්කු බණ්ඩා නොහොත් කොළ බණ්ඩා එහෙමත් නැත්නම් පොලොන්නරුවේ කවුරුත් දන්නා  බණ්ඩයියා  එවකට මැතිවරණ  ජනහමුවන්හි දේශපාලන තොරතුරු වාර්තා කරන්නට එන පොලොන්නරුවේ එකම මාධ්‍යවේදිනිය වූ මා  වඩා හොඳින් දැන හඳුනා ගෙන සිටියේය. 
 ඉතින් එජාප රජයක් බලය පැවැති කලෙක එවැනි ජනහමුවක් පැවැත්වෙන තැනකට පැමිනෙන මාධ්‍ය වේදීන් අතුරින් මා වෙත විශේෂ අනුග්‍රහයක් දක්වන හෙතෙම
 " මේ අපේ නෝනා යවන්න ඇතුලට..... යන්ඩ නෝනා යන්ඩ නෝනා.." 
එතකින් නොනවතින හෙතෙම කඩියෙකු සේ දුව පැන ඇවිද   මාධ්‍ය වේදි අපට ඇවැසි යටිතල පහසුකම් සපයන්නේය. බොන්නට යමක්, අසුන්ගන්නට ස්තානයක් ඔහුම සකස් කර දෙන්නේය. රැස්වීම සංවිධායකයන් දෙස බලා නොසිටින ඇතැම් වෙලාවක ඔහු තම අතින් වැයකොට  මාධ්‍යවේදීන්ට බීම බෝතලයක් ගෙනැවිත් දෙන්නේය. අනතුරුව  ජන හමුව මැදට පනින ඔහු  ඉලංදාරියෙකු සේ යටිගිරියෙන් ජයවේවා යි කෑගසන්නේය. ඉදින්  ඊලඟ මොහොතේ වේදිකාවට සපැමිනෙන  ප්‍රධාන අමුත්තා වෙනුවෙන්ද  කෑ මොර දෙන ඔහු.. ඔහුව වේදිකාව දක්වා කැටුව යන්නේ  මහ හඬින් ජයවේවායි කෑගසමිනි. 
හැඳ සිටින සරම කමිසය පාවහන් යුවළ පමණක් නොව ඔහු අත් බැඳි ඔර්ලෝසුව කැප් තොප්පියද කොල පාටය. කමිස කර අතරින් පෙනෙන බැනියමද  ගෙලෙහි එතූ ලේන්සුවද කොල පාටය. කොටින්ම ඔහු කැපුවත් කොලපාටය.
කදුරුවෙල නගරයේ කොතෙකුත් සැරිසරන බන්ඩයියා කිසිවෙකුටත් අමුත්තෙක් නොවේ.. 
බණ්ඩයියා පොලොන්නරුවට සේන්දුවන්නේ ඓතිහාසික පුරාවෘත්තයක් තිබෙන  කොත්මලේ සිටය. කොත්මලේ වටද්දර ග්‍රාමයේ උපන් කොළ බණ්ඩයියා මුලින්ම කොළ පාට නායකයෙකු ලෙස දකින්නේ  මහා මාන්‍ය ඩී එස් සේනානායකයන් ය. ඒ ඔහුට වයස අවුරුදු නවයේදීය. 
එක්සත් ජාතික පක්ෂය කෙරේ ඔහුගේ හිත ඇදී ගියේ ඒ අවදියේම බවයි ඔහු පවසන්නේ.
පාසැලේ දී කුඩා උක්කුබණ්ඩා සිංහලෙන් ඉගෙන ගනිද්දි ඔහුගේ පාසැල් ශාලාවට අල්ලපු ශාලාවෙ දෙමළ භාෂාවෙන් අකුරු කල ජෝතිඅම්මා නම් දමිළ ජාතික යුවතිය ඔහු හිත තුල පැලපදියම් වූ අනෙක් චරිතය විය. 
තරුණ වියට පිලිපන් උක්කු බණ්ඩාගේ පලමු පෙම ජෝතිඅම්මාය.. 
ජෝතිඅම්මාට යාන්තම් වයස අවුරුදු 14 සපිරුනා පමණි. උක්කුබණ්ඩා ට ඒ වනවිට යාන්තම්  වයස අවුරුදු 20 කි. හෙතෙම ජෝතිඅම්මාව  ගෙදරට කැන්ඳාගෙන ආවේය. එහෙත් ඒ  වනවිට ඔහුගේ මුලු නෑ පරපුරම පමණක් නොව ජෝතිඅම්මාගේ නෑ පරපුරද ඔවුන් දෙදෙනාට එරෙහිව පෙල ගැසී සිටියෝය. කලහැකි කිසිවක් නොවූ කල උක්කු බණ්ඩා ඇයද කැටුව සීතල කඳුකරයෙන් පලා ආවේය.  

මේ යුගයේ අරමුණක් නොමැතිව ගමෙන් පලා ආ බොහො දෙනෙකුගේ ඉරණම් රේඛාව වූයේ පොලොන්නරුව ගොවිබිමයි.
උක්කු බණ්ඩා ට රැකියාවක් තිබුනේ නැත කදුරුවෙල නගරයේ තැන තැන තාවකාලික යමක් කරමින් ජීවත් වූ ඔහුට  එවකට පොලොන්නරුව සුළු නගර සභාවෙ  නගරාධිපතිවරයාව සිටි ස්මයිල් මහතාට අයත් වී මෝලක රැකියාවක් ලැබිනි. 
මේ කියන සමයේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී.ල.නි.පක්ෂයේ කටයුතු සඳහා නගරාධිපතිව  මුනගැසෙන්නට නිතර එහි ආ ගියේය. 
මුස්ලිම් ජනතාවගේ ගම්මානවලදී ජනතාව අමතන තරුණ මෛත්‍රී ත් මුස්ලිම් ජනතාවත් අතර භාෂා පරිවර්තකයා ලෙස යන්නට උක්කු බණ්ඩාට  මඟ හෙලිකර දුන්නේ හිටපු නගරාධිපතිවරයාය. 
" ඔන්න ඔය රැස්වීම් වලට ගම්මාන ගානේ යද්දියි මට ඉස්සෙල්ලාම නෙල්සන් මහත්තයා මුනගැහුනේ.."  ඔහු පවසන්නේ පොලොන්නරුවේ හිටපු එ.ජා.ප.පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ජී.පී. නෙල්සන් මහතා ගැනය. 
එ.ජා.ප. මන්‍ත්‍රි නෙල්සන් මහතා උක්කුබන්ඩා තම සහයට කැඳවා ගත්තේය. 
" එතැන ඉඳල මම නෙල්සන් මහත්තයත් එක්ක පොලොන්නරුවෙ ගම්වල ඇවිද්දා..එතුමා ගාමිණි දිසානායක මහත්තයට මං ගැන කියා තිබුනා....
මගේ හිතේ ඇඳිල තිබුනෙම එක්සත් ජාතික පක්ෂ නායකයො ගැනමයි.. අවුරුදු 9 දි ඩී ඇස්  සේනානායක මහත්තයා දැකල පපුවට දැනුනු කැක්කුම  ඩඩ්ලි සේනානායක මහත්තය කලු සුද්දා අපේ ජෝන් කොතලාවල මහත්තය,වගේ  යූ ඇන් පී නායකයො උක්කු බණ්ඩා වෙච්ච මාව කොළ බන්ඩා කලා..." 
1977 දී ජේ ආර්  ඔහුව හැඳින්වූයේ  " පොලොන්නරුවේ බණ්ඩයියා "  ලෙසිනි. ඒ වන විට සම්පූර්ණයෙන්ම කොළපැහැති ඇඳුමට බැස සිටි බන්ඩයියා..නොදත් අයෙක් පොලොන්නරුවේ  නොසිටි තරම් ය. 
 ඔහු ඉතා දයාබරව අතීත මතක අතරේ  ආර්. ප්‍රේමදාස අගමැතිවරයා සිහිකරන්නේ නෙතට නැඟුනු කඳුලු පිසදමමිනි.
" ප්‍රේමදාස මහත්තයා  80 අවුරුද්ද කදුරුවෙල කුසුම්ගම  උදා ගම්මානය විවෘත කරන දවසෙ මගෙ උරහිසට අත තියල කතා කලා.. කොලඹ ඇවිත් එතුමාව මුනගැහෙන්න කීව.."
" මම  ගියා කෙසෙල්වත්තෙ එතුමාගෙ ගෙදරට .. මට ආරක්ෂකයො ගේට්ටුවෙන් ඇතුලට යන්න දුන්නෙ නෑ.  මම ත් එලියට වෙලා හිටිය.  ටික වෙලාවකින් ඔලුවෙ සුම්බරයක් බැඳගෙන සරම කැටිකරගෙන උදැල්ලක් අතින් අරන් මිදුලට ආපු අගමැති තුමා මාව දක්කා.. ආ.. මේ අපේ පොලොන්නරුවෙ බන්ඩයියා නේ.. ?  කියල මට අඬගහල  තේ බීල ඉන්න කියල එතුමා වෙනත් වැඩකට පිටත් වෙලා ගියා.. පස්සෙ එතුමා ආපහු ඇවිත් .. මට කීව ගොඩනැගිලි සංස්ථාවට යන්න කියල.... ඒ කාලෙත් මම කදුරුවෙල නගරයේ ලොතරැයි විකුනන වැඩේ තමා කලේ.. ගොඩනැගිලි සංස්තාව සෙවන කියන ලොතරැයිය  බෙදා හැරිය. ගොඩනැගිලි සංස්තාවෙන් මට ලොතරැයි 500 ක් දුන්නා.. 

මම ආපහු අගමැතිතුමා හම්බවෙන්න ගියා.. එතුමා මට සැලකිය යුතු මුදලක් අතට දුන්නා..දිවා ආහාරයත් දීල ආරක්ෂකයින්ට කීව  .. මාව පොලොන්නරුවෙ බස් එකකට නංවා එන්න කියා.." 
 පසු කලෙක ඔහුට පොලොන්නරුව නියෝජනය කොට පාර්ලිමේන්තුවට ගිය එ.ජා.ප. මුස්ලිම් මන්ත්‍රීවරයෙකු වූ මජීඩ් මහතා සමඟ යලිත් දේශපාලන වේදිකා ඔස්සේ භාෂා පරිවර්තකයෙකු වූ ඔහු එ.ජා.ප ය මෙහෙයවූ සටන් ව්‍යාපාර වලට සක්‍රීය දායකත්වය ලබාදුන්නේය.

"  චන්ද්‍රිකා ආන්ඩුව කාලෙ  නුවර ඉඳල කොලඹට පාගමනක් ආව.. දවස් හතක.. කොළඹදී චන්ද්‍රිකා ගෙ ආරක්ෂකයො අපිට  ගැහුවෙ උදලු මිටි පොලුවලින්..  මටත්  වැදුනා කොන්දට .. නෙල්සන් මහත්තයා මාව එතුමගෙ වාහනේ දාගෙන පොලොන්නරුවට එක්කගෙන ආව. " 
ඊට පස්සෙ මම ගාල්ලෙ ඉඳන් කොලඹ ගිය එ.ජා. ප පෙලපාලියකට  එකතු උනා  ඒ රනිල් ට විරුද්ධව.. සජිත් ට පක්ෂ නායකත්වය ඉල්ලලා ඒ පෙලපාලිය ගියේ.. එහෙදි මංගල සමරවීර අපිට ගැහුවෙ කුරුඳු පොලු වලින්..." 
 ඔහු සිනහවෙමින්  පවසයි. 
 " මෛත්‍රී මහත්තය පොදු අපේක්ෂකයා වුනාමත් මම පොලොන්නරුවේ සිංහල නොවන ගම්මානවල රැස්වීම් වල මෛත්‍රී මහත්තයගෙ කතා සිංහලට පරිවර්තනය කලා.."
අද ද ඔහු ඔහුගේ කොළ පැහැති පාපැදියේ නැගී කදුරුවෙල නගරයේ ලොතරැයි පත් විකුනන්නේය. ඔහුගේ දරුවන් හත් දෙනෙකි. ඔවුන් සියලුම දෙනා විවාහකය.  බන්ඩයියාට දරු මුනුබුරන් 29 දෙනෙකි.
" මගෙ දරුවො කාටවත් රජයේ රැකියා ලැබී නැහැ. එක පුතෙක් විතරක්  යුධ හමුදාවෙ සේවය කරනව.. ඒක රස්සාවක් කියන්න මං කැමති නෑ...."
" මගෙන් සමහර අය අහනව යූ ඇන් පී එකෙන් උඹට මොනවද ලැබුනෙ කියල.. ඇත්ත කිසිම දෙයක් නෑ තමා.. .. ඒත්  මම මැරෙන්නෙත් යූ ඇන් පී කාරයෙක් විදියටයි. එක හිතේ අමාරුවක් තියෙනව.. මම රනිල් ට කැමති නෑ. අහංකාර උද්දච්ච ඔහුට වඩා සජිත් යූ ඇන් පී එකේ නායකය උනානම්  කියලයි මම හිතන්නෙ...මැරෙන්න පෙර  ප්‍රේමදාස උත්තමයගෙ  ගතිගුණ තියෙන මිනිහෙක් අතට  යූ ඇන් පී එක යනව දකින්නයි මම කැමති..." 
 තවමත් කාර්‍යශූර කඩිසර ඔහු  මේ සංවාදය අතරේත් මහ මඟ යන එන්නන්ට.. කතාබහ කරන්නේ පැරැණි ඉලංදාරි ස්වරූපයෙන්මය.. වික්‍රමසිංහ මුදියන්සේලාගේ උක්කු බණ්ඩා හෙවත් පොලොන්නරුවේ බන්ඩයියා ට අද වන විට වයස අවුරුදු 81 කි. 
        
ඉන්දුමතී ජයසේන .



Post a Comment

0 Comments